
2026.02.05 වන දින පෙ.ව. 06.00 සිට 2026.02.11 දින පෙ.ව.06.00 දක්වා පැය 24 පුරා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී
........................................................................................................................................
උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් අද (04) පස්වරුවේ දී මෙරටට වැඩම කරවන ලදී. මෙරටට වැඩම වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ කටුනායක ගුවන්තොටුපොළ තුළදී පාවඩ එළා, රතු පලස මතින් නිල වශයෙන් උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමෙන් අනතුරුව රථ පෙරහරක් මඟින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට වැඩම කරවනු ලැබීය.
ඉන් අනතුරුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මහජන වන්දනාමානය සඳහා විවෘත කිරිම සිදුකෙරිණ. එසේම ධාතූන් වහන්සේ ලංකාවේ වැඩ සිටින කාල සීමාව තුළදී වගකීම දැරීම සම්බන්ධව සහ නැවතත් එරටට භාරදීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණ.
අතිපූජ්‍ය මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ සිදූකෙරුණු මෙම පුණ්‍යකටයුත්ත සඳහා ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාරතුමා සහ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යතුමා ඇතුළු ඉන්දීය රජයේ විශේෂ ධූත කණ්ඩායම සමගින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ජනාධිපති ලේකම්තුමා, අග්‍රාමාත්‍ය ලේකම්තුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා, පොලිස්පතිතුමා, ත්‍රිවිධ හමුදා ප්‍රධානින්, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි සුවාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය, කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින්, ගංගාරාම විහාරස්ථානයේ දායක සභාව ඇතුළු පිරිසක් සහභාගි විය.
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුග්‍රහයෙන් දෙරට සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතාව වර්ධනය කරමින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැකබලා වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාව පෙබරවාරි 05 වන දින උදෑසන 06.00 සිට 11 දින උදෑසන උදෑසන 06.00 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී පැය 24 පුරාම මහජන වන්දනාවට අවස්ථාව සලස්වා ඇත.



























